Thursday, July 21, 2011

අදින් ඇරඹි අන්තර් පලාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පලාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය අද(ජුලි 21) ආරම්භ වූවා. පුරා දින 10ක් තිස්සේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා වයඹ, බස්නාහිර, කඳුරට, රුහුණ සහ පලාත් ඒකාබද්ධ ලෙස කණ්ඩායම් 5ක් තරඟ කරනු ලබනවා.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ලෙස විදෙස් ක්‍රීඩකයන්ද සහභාගී කරවාගෙන පවත්වන්නට සැලසුම් කොට තිබුණද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැක් වූ විරෝධතාවය නිසා සෙසු රටවල්ද ක්‍රීඩකයන් සහභාගී කරවීමට අකමැත්ත පල කොට සිටියා.

අදින් ඇරඹි අන්තර් පලාත් විස්සයි-විස්ස තරඟාවලියේ සියලුම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර තරඟ පැවැත්වෙන එක් දිනක තරඟ 2 බැගින් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පස් දෙනෙකුට මෙම තරඟාවලියේදී විවේක ගැනීමට (අවශ්‍ය නම් පමණක්) අවසර දී තිබෙන අතර තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් එම ක්‍රීඩකයෝ වෙති.

තරඟ කාල සටහන

ජූලි 21: වයඹ - බස්නාහිර පෙරවරු 10.30
රුහුණ - කඳුරට පස්වරු 2.30

ජූලි 23: කඳුරට - ඒකාබද්ධ පෙරවරු 10.30
වයඹ - රුහුණ පස්වරු 2.30

ජූලි 24: වයඹ - කඳුරට පෙරවරු 10.30
බස්නාහිර - ඒකාබද්ධ පස්වරු 2.30

ජූලි 26: බස්නාහිර - කඳුරට පෙරවරු 10.30
රුහුණ - ඒකාබද්ධ පස්වරු 2.30

ජූලි 27: බස්නාහිර - රුහුණ පෙරවරු 10.30
ඒකාබද්ධ - වයඹ පස්වරු 2.30

ජූලි 30: පළමු අවසන් පූර්ව තරගය පෙරවරු 10.30
දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 2.30

ජූලි 31: අවසාන මහා තරගය පස්වරු 2.30

ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

අගෝස්තු මස 6 වන දින ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කොට ඇති අතර මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබනවා.

පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වූ තිලිණ කන්ඩම්බි මෙම සංචිතයට ඇතුලත් නොවීම විශේෂ සිදුවීමක් වන අතර පසු ගිය ලෝක කුසලාන තරඟාවලියේදී අසාර්ථක වූ චාමර සිල්වා සහ චාමර කපුගෙදර ද විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්. කලකට පසු ඉසුරු උදානට සහ මාලිංග බණ්ඩාරට කණ්ඩායමේ දොරගුළු විවර වී තිබෙන අතර දක්ෂ පිට දඟ පන්දු යවන්නෙකු වන නවක ක්‍රීඩක සචිත්‍ර සේනානායක ද කණ්ඩායමට එක් කොට තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පලමු විස්සයි-විස්ස තරඟය ලබන අගෝස්තු 6 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන්(නායක), කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, චාමර සිල්වා, ජීවන් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, ඉසුරු උදාන, සුරාජ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර, සචිත්‍ර සේනානායක

Tuesday, July 19, 2011

ශ්‍රී ලංකා "ඒ" පිලේ එංගලන්ත සංචාරය.

ශ්‍රී ලංකා "ඒ" පිලේ එංගලන්ත සංචාරය අද(ජුලි 20) ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමගින් ලෙස්ටෂයර්හිදී පවත්වන සිව් දින තරඟයත් සමගින් ආරම්භ වේ. ලබන අගෝස්තු මස 16 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සිව්දින තරඟ 3ක් සහ එක්දින තරඟ 5ක් අන්තර්ගත වේ.

මෙහිදී ශ්‍රී ලංකා කන්ඩායම පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නකුද වන කෞෂාල් සිල්වා විසින් මෙහෙයවන අතර උප නායකත්වය පසුගිය එංගලන්ත සංචාරයේදී ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් දිමුත් කරුණාරත්න හට පිරිනමා ඇත.

මෙම තරඟාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් සහ ධම්මික ප්‍රසාද් එක්කර තිබුනද පසුගිය එංගලන්ත සංචාරයේදී දැක් වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා ලබන අගෝස්තු මස 6 වන දින ආරම්භ වන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර ඇත. ඒ වෙනුවට කුසල් ජනත් සහ කනිෂ්ක ඇල්විටිගල කණ්ඩායමට එක් කොට ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස රොමේෂ් කලුවිතාරණ මහතා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය: කෞෂාල් සිල්වා(නායක) , දිමුත් කරුණාරත්න(උප නායක) , කුසල් ජනිත්, මලින්ද වර්ණපුර, ලහිරු තිරිමාන්න,සචිත්‍ර සේරසිංහ,රොෂේන් සිල්වා, භානුක රාජපක්ෂ,කෝසල කුලසේකර,සචිත්‍ර සේනානායක,සීකුගේ ප්‍රසන්න,ශමින්ද එරංග,නිලංක ප්‍රේමරත්න, තරංග ලක්ෂිත,සජීව වීරකෝන්

තරඟ කාල සටහන.

ජුලි 20-23 ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ලෙස්ටර්ෂයර් හිදී
ජුලි 27-30 ඩර්හැම් කණ්ඩායම සමග ඩර්හැම් හිදී
අගෝස්තු 02-05 ලයන් "ඒ"සමග තරඟය හෙඩින්ලි හිදී

අගෝස්තු 08 ලැන්කෂයර් සමග තරඟය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී
අගෝස්තු 10 නොටිංහැම් සමග තරඟය ට්‍රෙන්ට්බ්‍රිජ් හිදී
අගෝස්තු 12 ලයන් "ඒ"සමග තරඟය වොකෙස්ටෙර් හිදී
අගෝස්තු 14 ලයන් "ඒ"සමග තරඟය වොකෙස්ටෙර් හිදී
අගෝස්තු 16 ලයන් "ඒ"සමග තරඟය නොදම්ප්ටන් හිදී

Monday, July 18, 2011

එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා DRS ක්‍රමය යොදා ගැනේ.




එළඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමය(Decision Review System) යොදා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් DRS ක්‍රමය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා යොදා නොගන්නා බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.කෙසේ වෙතත් DRS ක්‍රමය යොදා ගැනීම සම්බන්ධයෙන් තමන් ප්‍රමුඛස්ථානය ලා සලකන බව උපාලි ධර්මදාස මහතා ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වෙත ප්‍රකශ කොට ඇත.

DRS ක්‍රමය සඳහා දිනකට ඩොලර් 5000ක පමණ මුදලක්(ශ්‍රී ලංකානු මුදලින් රු 575,000 ක් පමණ) වැය වේ. පසුගියදා හොංකොං නුවර පැවැති ICC වාර්ෂික සම්මේලනයේදී ඉදිරි සියලුම එක්දින සහ ටෙස්ට් තරඟ සඳහා DRS ක්‍රමය අනිවාර්යෙන්ම යොදා ගත යුතු බවට තීරණය කර තිබිණි.

එළඹෙන අගෝස්තු 6 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා එක්දින තරඟ 5ක්, ටෙස්ට් තරඟ 3ක් සහ විස්සයි- විස්ස තරඟ2ක් ඇතුලත් වේ.

Sunday, July 17, 2011

ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු රුමේෂ් රත්නායක


එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර ඇත.

1993 වර්ෂයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රුමේෂ් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 23 කට සහ එක් දින තරඟ 70 වකට ක්‍රීඩා කර ඇති දකුණත් වේග පන්දු යවන්නෙකි. රුමේෂ් රත්නායක මහතා කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට අමතරව එළඹෙන ඕස්ට්‍රේලියානු තරඟාවලිය සඳහා මාවන් අතපත්තු පිතිකරු පුහුණුකරු ලෙසද, චම්පික රාමනායක වේගපන්දු යවන්නන් පුහුණුකරු ලෙසද,රුවන් කල්පගේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

කෙසේ වෙතත් මෙම පත්වීම සිදු කර තිබෙන්නේ එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය කෙන්ද්‍ර කොටගෙන වන අතර ඔහුගේ පත්වීම ස්ථිරද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශ කොට නොමැත.

Wednesday, May 11, 2011

සහීඩ් අෆ්‍රිඩී ගිවිසුමට අත්සන් කරලා.



පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක නායක සහීඩ් අෆ්‍රිඩී SLPL තරඟාවලියට සහභාගීවෙනව කියල කලින් ප්‍රකාශ කරල තිබුනට ඔන්න අද වෙනකොට අෆ්‍රිඩී තරඟාවලියෙ නැඟෙනහිර කණ්ඩායන්මේ නායකත්වය, පළමු අවුරුදු තුනක කාලයේදී දරන බවට ගිවිසුම් අත්සන් කර තිබේ. මේ අතර ඔහු මෙම ගිවිසුම අත්සන් කර අත්තේ US$35,000 ක මුදලකටය. මෙම මුදල 2012 වසරෙදී දෙඟුන වනු ඇත.

IPL තරඟා වලියේ කොන්වී සිටින පකිස්ථානු කණ්ඩායමේ ක්‍රීඩකයින්හට මෙම තරඟාවලිය හොඳ තෝතැන්නක් බවද පසුගිය සමයේ ඉතා හොඳ දක්ෂතා අතර සිටි පකිස්ථානු ක්‍රීඩකයින් මෙම තරඟාවලියට සහභාගී වීමට ඉතා කැමැතෙන් සිටින බවද අෆ්‍රිඩී පකිස්ථානු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

Monday, May 9, 2011

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය.


මහ නුවර නගරයට කි.මි 8ක් පමණ දුරින් පිහිටා ඇති දර්ශණීය කඳු පංතියකින් වට වූ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලොව ඇති අලංකාරම ක්‍රීඩාංගන අතුරින් එකකි..2009 වසරේ නොවැම්බර් මස 27 වනදා මුලින්ම දේශීය තරඟ සඳහා විවර කෙරුනු මෙම ක්‍රීඩාංගනයේ මුල්ම ජාත්‍යන්තර ටෙස්ට් තරඟය 2010 වසරේ දෙසැම්බර් මස 1 වෙනිදා පැවැත් වූ අතර ඒ ශ්‍රී ලංකා කන්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතරය.එම තරඟය වර්ෂාවට සේදී ගිය අතර 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවති තරඟය මෙම ක්‍රීඩාංගනයේ පැවත් වූ මුල්ම ජාත්‍යන්තර එක් දින තරඟය වේ.







ලොව මෙතෙක් බිහි වූ සුපිරිතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් නමින් නම් කිරීමට නියමිත මෙම ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් 35,000 කට පමණ එක් වර තරඟ නැරඹීමේ පහසුකම් සහිතය.මෙම ක්‍රීඩාංගනයේ අන්ත දෙක රිකිල්ලගස්කඩ අන්තය සහ හුන්නස්ගිරිය අන්තය ලෙස නම් කර ඇත.